ගෝලීයකරණය යන සංකල්පය අර්ථකථනය කිරීමේදී එය ඓතිහාසික හා ස්වාභාවික ක්‍රියාවලියක් බවටත්, සිදුවෙමින් පවතින දෙයක් ලෙසට ද පෙන්වාදිය හැකිය. මෙය ජනමාධ්‍ය හරහා පොදු ජනයා අතරට පැමිණ තිබේ. වේගයෙන් හා ක්ෂණිකව තොරතුරු ගලා යාම හේතුවෙන් රටවල් අතර තොරතුරු හුවමාරුව කඩිනම් වීම සිදුවිය. එම නිසාම මෙය "විශ්ව ගම්මානය" යනුවෙන් ද අර්ථ දක්වයි. සන්නිවේදන විශාරදයෙකු වන මාෂල් මැක්ලුහාන් පවසන ආකාරයට නූතන සන්නිවේදන තාක්ෂණය හේතුවෙන් ලෝකයම හැකිලෙමින් පවතී. එමගින් ලෝකයම එකම මිනිස් ගම්මානයක් බවට පත්වෙමින් ඇත.
ගෝලීයකරණය යන්නෙහි පදගටමය අර්ථය සැළකුවහොත් එමගින් විග්‍රහ කෙරෙන්නේ, දේශීය හා කලාපීය ප්‍රපංචයන් ගෝලීය ප්‍රපංචයන් බවට පරිවර්ථනය කිරීමයි. එසේම ගෝලීයකරණය වෙනුවෙන් පෙනී සිටින්නන් පෙන්වාදෙන ආකාරයට ගෝලීයකරණය යනු ලොව වෙසෙන පුද්ගලයන් ඒකීය සමාජයක් හා ඒකීය කෘත්‍යයක් සදහා යොමු කරවන ක්‍රියාවලියක් ය යන්නයි.
මානව සමාජ පරිණාමයේ නව අවධියක් පෙන්නුම් කරන මෙකී ගෝලීයකරණයට හසුවන සෑම මානව සමාජයක්ම දැනුමෙන් සන්නද්ධ වේ යැයි මත පළ වී ඇත. ඒ අනූව පෙනී යන්නේ ගෝලීයකරණය යන්නට නිශ්චිත අර්ථ ගෙනදීම අපහසු කාර්යයක් බවයි. එනම් ඇතමෙකුට එය මතවාදයකි. තවත් අයෙකුට අනූව එය සිදුවෙමින් පවතින ක්‍රියාවලියක් හෝ මිථ්‍යාවේදයකි. එසේම මානව සබදතා දියුණු වීමේ ප්‍රථිපලයක් ලෙසට ද මෙය පෙන්වාදිය හැකිය.
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව සන්නිවේදනය පිළිබද විවිධ සොයා බැලීම් ඇතිවිය. එනම් සන්නිවේදනය හා තාක්ෂණය විප්ලවීය වෙනසකට පරිවර්තනය වීමයි. ඇතැම් විදුවතුන්ට අනූව ගෝලීයකරණයේ ආරම්භය 16 වන සියවස දක්වා අතීතයට ගමන් කරයි. බොහෝ විවේචකයන්ට අනූව ගෝලීයකරණය නිර්මාණය කර ඇත්තේ බටහිර ලෝකය මගිනි. වෙළදපළ බලවේග මගින් ආර්ථිකය සකස් කරයි. ඊට අවශ්‍ය ගෝලීය විඥානය සකස් කරන්නේ මාධ්‍ය මගිනි.
ජ්‍යාත්‍යන්තරකරණය, ලිබරල්කරණය, බටහිරකරණය, විශ්වීයකරණය ආදී සංකල්පමය ක්ෂේත්‍ර සමග ද ගෝලීයකරණය සබදතා පවත්වයි. මාර්ටින් බෝර් පවසන ආකාරයට ගෝලීයකරණය යනු, තුන්වන ලෝකයේ ජනතාව සියවස් ගණනක සිට අත්දකින යටත්විජිතවාදය යි. ගෝලීයකරණය පිළිබදව ඉදිරිපත්ව ඇති නිර්වචන ගණනාවකි. එහෙත් මේවා පිළිබද නිශ්චිත එකගතාවක් නැත. මෙයට හේතුව වන්නේ විවිධ ආයතන මෙන්ම විවිධ පුද්ගයන් විවිධ දෘෂ්ඨිකෝණයන් ඔස්සේ ගෝලීයකරණය අර්ථගන්වා තිබීමයි.
යුරෝපා කොමිසමට අනූව ගෝලීයකරණය යනු, භාණ්ඩ හා සේවා වෙළදාමේ ජවසම්පන්න භාවයත්, ප්‍රාග්ධනය හා තාක්ෂණයට අදාළ වර්ධනයත් කරණ කොටගෙන විවිධ වූ රටවල් ඉතා සීඝ්‍ර ලෙස එකිනෙකා මත යැපීමේ ක්‍රියාවලියක් ය යන්නයි. ජේම්ස් මිට්ල්මන්ට අනූව ගෝලීයකරණය යනු විවිධ ප්‍රපංච සමූහයක් සදහා වන ප්‍රකාශණයකි. එය ආර්ථිකය දේශපාලනය, සංස්කෘතිය හා දෘෂ්ඨිවාදය ආදිය පිළිබද විශ්ලේෂණයෙහි බහුවිධ ස්ථර එකිනෙක හා සම්බන්ධ කරයි.
සන්නිවේදන තාක්ෂණය දියුණු වීමත්, ඊට නව ක්ෂේත්‍ර එක් වීමත් සමග ගෝලීයකරණයේ නව ප්‍රවණතා රුසක් නිර්මාණය විය. ඒ අනූව ගෝලීයකරණය ක්‍රියාවලිය නිසා උත්පාදනය වූ නව ප්‍රවණතාවන් පහත පරිදි පෙළගැස්විය හැකිය.
- ද්‍රව්‍යමය ආර්ථිකය අභිබවා මූල්‍ය ආර්ථිකය ශක්තිමත් වීම
- විද්‍යාව හා තාක්ෂණය ආර්ථිකයේ තීරණාත්මක බලවේග වීම
- ජනසන්නිවේදන මාධ්‍යයේ ප්‍රමාණාත්මක වර්ධනය
- ගෝලීය තොරතුරු අවකාශයක් නිර්මාණය වීම
- නව සංස්කෘතික ස්වරූප ඇති වීම
- විවිධ ජනමාධ්‍ය ඒකීය පද්ධති බවට පත්වීම
- ගෝලීයකරණය සමග කලාපීයකරණය සිදුවීම
No comments:
Post a Comment