Tuesday, December 19, 2017

තාක්ෂණය හා බැදි සමාජය

සන්නිවේදනයේ වන පිබිදීම හා ව්‍යාප්තිය අද වනවිට ප්‍රතික්ෂේප කළ නොහැකි දෙයක් බවට පත්ව තිබේ. එහි ස්වභාවය අනූව එය සුළුකොට තැකිය නොහැකි අතර එහි ප්‍රථිපල ගැඹුරුය. ලෝකයේ පවතින තත්වය සාමාන්‍ය තත්වයට වඩා වෙනස් වීමට ලක්වීම ‍මේ තත්වයට මූලාරම්භය ලෙස දැක්විය හැකිය. 
පසුගිය දශ වර්ෂ දෙකක කාලය තුළ සන්නිවේදන තාක්ෂණය දියුණුවට පත්විය. නිදර්ෂණයන් ලෙස පරිගණකය, වීඩියෝ, චන්ද්‍රිකා, රූපවාහිනිය පෙන්වාදිය හැකිය. නූතන සන්නිවේදන ක්‍රමවල ඇති හැකියාවන් නිසා ඒවා ප්‍රජාවට  පහසුවෙන් ලගාවන ආකාරය ද හදුනාගත හැකිය. එනම් සන්නිවේදන මාධ්‍යයේ එන සම්භාව්‍යය සංකල්පයන්ගෙන් වෙනස් මගකට යොමුවී වර්තමානයේ නියෝජනය වන නවතම තාක්ෂණික උපකරණ භාවිතය සිදු වී ඇත. උදාහරණ ලෙස ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව යන අංශ දැක්විය හැකිය.
කෙසේ නමුදු 1960 - 70 දශකයන් තුළ සිදුවූ ප්‍රධාන මාධ්‍යවල බිද වැටීම හේතුවෙන් නව මාධ්‍යයන් ගොඩනැගීම ද මෙසේ ජන්මය ලැබූ නව මාධ්‍ය හරහා තොරතුරු බෙදා හැරීමේ නව ප්‍රවණතාවයන් නිර්මාණය වීම ද සුවිශේෂී වේ.
ඒ අනූව අධ්‍යතන මාධ්‍ය භාවිතය තුළ වන නවතම ප්‍රවණතාව වන්නේ ඉහත කී නව මාධ්‍ය වේ.මෙකී නව මාධ්‍ය භාවිතය තුළ වන වැදගත්කම වනුයේ, පූර්ව සන්නිවේදන ක්‍රමවලට වඩා ඉදුරාම වෙනස් අයුරින් යුක්තව ඉතා පුළුල් සමාජ සංස්කෘතිමය වෙනසක් නිර්මාණය කිරීමට නව මාධ්‍යයට පවතින හැකියාවයි. ඒ අනූව සමස්ථ ලෝකයම මෙම නව මාධ්‍ය සිය සංවර්ධනය සදහා උරගා බලමින් සිටී. ඒ අනූව නව මාධ්‍ය යනු අද වන විට මානව සමාජ අන්තර් ක්‍රියාවලිය තුළ විශාල කාර්යභාර්යක් ඉටුකරන ප්‍රධාන කාරකයා වේ. එනම් නව මාධ්‍ය බිහි වීම තුළ මෙතෙක් කල් පොතපතින් හුවමාරු වූ දැනුම මේ හරහා ප්‍රසාරණය වී නව සංස්කෘතික ප්‍රවේශයන්ට ළගා වීම නිසා, ඒ තුළ ඕනෑම දෙයකට අවැසි දැනුමක් ක්ෂණිකව ලබා ගැනීමේ ශක්‍යතාව පුද්ගලයා කෙරෙහි ළගා වී තිබීම විශේෂ කොට සැළකිය යුතු වේ.
මෙවැනි ස්වරූපයක් තුළ ගොඩනැගෙන්නේ සාමූහික විඥානයක් හා සාමූහික බුද්ධියකි. මෙසේ සිදුවීමට ප්‍රධාන හේතුව වන්නේ නව මාධ්‍ය හරහා තොරතුරු විමධ්‍යගතකරණයයි. මෙම පරිසරය තුළ විශාල වශයෙන් තොරතුරට ඇති හදුනාගැනීම්, අර්ථකථනයන් වෙනස් වේ. විශේෂයෙන්ම සංස්කෘතියේ ප්‍රධාන ගුණාංග පිළිබද ජී. ජී. මර්ඩොග් විසින් The Cross Cultural Survey කෘතියේ දක්වන "සමාජ හැසිරීම් රටා ඉගැන්වීමේ ගුණය" (Learned Quality) හා "සමාජ ගති ලක්ෂණ පතුරුවා හැරීමේ ගුණය" (Transmissive Quality) අද්‍යතන සමාජයට ගෙන යන්නේ/හුරු කරවන්නේ මෙම නව මාධ්‍ය හරහාය.
නව මාධ්‍ය තුළ කිසිදු ආකාරයකින් සීමා මායිම් නැත. මේ නිසා එක් රටක සමාජ තත්වය තවත් රටක සාමාජීය තත්වය හා සම්මිශ්‍රනය වීමේ ඉඩකඩ බොහෝ සෙයින් පවතී. ඒ අනූව පැහැදිලි වන්නේ, නව මාධ්‍ය හරහා මෙලෙස වෙනස් වන සංස්කෘතිය පිළිබද මනා දැනුවත් බවින් යුතුව පරිහරණය කිරීම මෙවැනි ගෝලීය වටපිටාවක් තුළ වෙසෙසින්ම වැදගත් වන බවයි.

No comments:

Post a Comment

සන්නිවේදනයේ ගෝලීයකරණය

නවීන ලෝකයේ සන්නිවේදනය පිළිබද කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එය අතිශය සීඝ්‍රයෙන් වර්ධනය වන ගෝලීය පරිමාණයක සිදුවීමයි. කාලය හා අවකාශය අතර පූර්වයෙහි ව...