Tuesday, December 19, 2017

සන්නිවේදනයේ ගෝලීයකරණය

නවීන ලෝකයේ සන්නිවේදනය පිළිබද කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එය අතිශය සීඝ්‍රයෙන් වර්ධනය වන ගෝලීය පරිමාණයක සිදුවීමයි. කාලය හා අවකාශය අතර පූර්වයෙහි වූ සම්බන්ධතාව නවීන විද්‍යුත් මාධ්‍ය විසින් සිද දමනු ලැබ ඇත. මේ නිසා දුර පිළිබද අර්ථය සපුරා විපර්යාසයට ලක් වී තිබේ. ඒ අනූව ලොව විවිධ විෂම දුරාන්ත එකොන මෙකොන යා කරන, එක් එක් පුද්ගලයා අනෙකා සමග ක්ෂණිකව සම්බන්ධ කරන මේ නිර්මිතය සම්පූර්ණයෙන්ම නවීන සන්නිවේදනයට අයත් වූවකි.
ගෝලීයකරණ ක්‍රියාවලිය යථාර්ථයක් වන්නේ අදාළ ක්‍රියාකාරකම් ගෝලීය නැතහොත් ඊට ආසන්න ගති ලක්ෂණ සහිත භූමියක සිදුවන කල්හිය. එම ක්‍රියාකාරකම් සංවිධිත, සැලසුම් සහගත මෙන්ම ගෝලීය පරිමාණයක සම්බන්ධීකරණය විය යුතුය. සන්නිවේදනය මූලික කොටගෙන පෙර නොවූ විරූ පරිදි ලොව ක්ෂණික හා කාර්යක්ෂම සම්බන්ධතා හට ගැනීම හා වර්ධනව වීම හුදෙක්ම ගෝලීයකරණ ක්‍රියාවලියේ සුවිශේෂ ලක්ෂණයක් වන බව අපට පිළිගැනීමට සිදුවේ. 
සන්නිවේදන ගෝලීයකරණයෙහි ආරම්භය 19 වැනි සියවසේ මැද භාගය එනම්, සන්නිවේදන ජාලා ක්‍රමානුකූලව ගෝලීය පරිමාණයෙන් සංවිධානය වන්නට පටන්ගත් අවධිය දක්වා ගෙන යා හැකි වුව ද එය මූලිකව සළකනු ලබන්නේ විසිවෙනි සියවසට අයත් ප්‍රපංචයක් ලෙසිනි. අසාමාන්‍ය ලෙස සන්නිවේදන නාලිකා බිහිවීම හා දැවැන්ත පරිමාණයේ විඥාපන ව්‍යාප්තිය මෙසමයෙහි දක්නට ලැබේ. ලොව ඇතැම් කලාප ගෝලීය සන්නිවේදන ජාලා වෙත සීඝ්‍රයෙන් යොමු වූ අතර සන්නිවේදන ගෝලීයකරණයෙහි ප්‍රථිපල ද විවිධ පාර්ශවයන්ට එකිනෙකට වෙනස් ලෙස අත්පත් වූයේය. 
1960 දශකයේ අගභාගය වනතුරු ගෝලීය සන්නිවේදනයේ ගතිලක්ෂණ සමහරක් හදාරන ලද්දේ ජ්‍යාත්‍යන්තර සන්නිවේදනය පිළිබද විෂය ක්ෂේත්‍රයෙහි නියුක්ත පර්යේෂකයන් විසිනි. ගෝලීය සන්නිවේදන ක්‍රියාවලියට අදාළ ප්‍රස්තුත පුළුල් පරාසයක ව්‍යාප්තව පවතින නිසා එය විග්‍රහයේ පහසුව වෙනුවෙන් තේමා හතරකට ඛණ්ඩනය කර ගත හැකිය.
  1. සන්නිවේදන හා විඥාපන ව්‍යාප්තිය පිළිබද ගෝලීය සන්නිවේදනයෙහි ප්‍රමුඛ බලවේග වන ජාතික සීමාතික්‍රාන්ත සන්නිවේදන ව්‍යාපාර බිහි වීම.
  2. චන්ද්‍රිකා සන්නිවේදනය ප්‍රමුඛ නව තාක්ෂණවේදයෙහි සමාජීය බලපෑම.
  3. ගෝලීය පද්ධතිය තුළ අසමමිතික තොරතුරු ගලනය හා අසමතුලිත සන්නිවේදන නිශ්පාදන ක්‍රියාදාමය.
  4. ගෝලීය සන්නිවේදන ජාලය තුළට ප්‍රවේශ වීමේ හැකියාව පිළිබද විචල්‍යතා හා විශමතාය.

20 වන සියවසේ සන්නිවේදනයේ ගෝලීයකරණය යනු මූලිකව දැවැන්ත පරිමාණයේ සන්නිවේදන ව්‍යාපාර සංස්ථාපිතයන් බිහිවීම හා ඒවායේ ක්‍රියාකාරීත්වය යි. මෙය ප්‍රධාන කොටම මුද්‍රිත සන්නිවේදනයත් සමග පරිණාමය වූ ආකාරය හදුනාගත හැකිය.
එසේම 20 වන සියවස අගභාගයේදී සන්නිවේදන ගෝලීයකරණයෙහිලා නව සන්නවේදන තාක්ෂණය අසාමාන්‍ය කාර්යභාර්යක් ඉටු කොට ඇත. මෙම තාක්ෂණික සංවර්ධනයන් ගෝලීය සන්නිවේදනය සදහා අවශ්‍ය පදනම හා පසුබිම සකස් කර ඇත. සන්නිවේදන ගෝලීයකරණයෙහි කේන්ද්‍රීය ගති ලක්ෂණය වන්නේ මාධ්‍ය නිශ්පාදිත ජ්‍යාත්‍යන්තර අංගණයෙහි සංසරණය වීමයි. එනම් එක් රටක නිර්මාණය වන මාධ්‍ය නිශ්පාදිත දේශීය වෙළදපොළ අභිබවමින් ගෝලීය වෙළදපොළ වෙත ද සංක්‍රමණය විම මෙහි මූලික ලක්ෂණය වේ.
කෙසේ වුව ද ගෝලීය මාධ්‍ය වෙළදපොළ තුළ මාධ්‍ය නිශ්පාදිත ආනයන අපනයන ක්‍රියාවලියෙහි බරපතල අසමතුලිත හා අසමමිතිකතාවක් දිස්වේ. එනම් වැඩසටහන් අපනයන ක්‍රියාවලියෙහි ඒකාධිකාරය ප්‍රධාන රටවල් කීපයකට පමණක් සීමා වී ඇති අතර එමනිසා මෙය එක්තරා ආකාරයක ඒකමාර්ගික ප්‍රවාහයක් ලෙස අර්ථනිරූපණය කිරීමට ද පුළුවන. නිදසුනක් වශයෙන්, රූපවාහිනී වැඩසටහන් නිශ්පාදන අපනයනයෙහිලා ඇමරිකාව සතුවන ආධිපත්‍යය කොතරම් ප්‍රබලදැයි සලකා බැලිය හැකිය.

ගෝලීයකරණය හා සන්නිවේදන ප්‍රවණතා

ගෝලීයකරණය යන සංකල්පය අර්ථකථනය කිරීමේදී එය ‍ඓතිහාසික හා ස්වාභාවික ක්‍රියාවලියක් බවටත්, සිදුවෙමින් පවතින දෙයක් ලෙසට ද පෙන්වාදිය හැකිය. මෙය ජනමාධ්‍ය හරහා පොදු ජනයා අතරට පැමිණ තිබේ. වේගයෙන් හා ක්ෂණිකව තොරතුරු ගලා යාම හේතුවෙන් රටවල් අතර තොරතුරු හුවමාරුව කඩිනම් වීම සිදුවිය. එම නිසාම මෙය "විශ්ව ගම්මානය" යනුවෙන් ද අර්ථ දක්වයි. සන්නිවේදන විශාරදයෙකු වන මාෂල් මැක්ලුහාන් පවසන ආකාරයට නූතන සන්නිවේදන තාක්ෂණය හේතුවෙන් ලෝකයම හැකිලෙමින් පවතී. එමගින් ලෝකයම එකම මිනිස් ගම්මානයක් බවට පත්වෙමින් ඇත. 
ගෝලීයකරණය යන්නෙහි පදගටමය අර්ථය සැළකුවහොත් එමගින් විග්‍රහ කෙරෙන්නේ, දේශීය හා කලාපීය ප්‍රපංචයන් ගෝලීය ප්‍රපංචයන් බවට පරිවර්ථනය කිරීමයි. එසේම ගෝලීයකරණය වෙනුවෙන් පෙනී සිටින්නන් පෙන්වාදෙන ආකාරයට ගෝලීයකරණය යනු ලොව වෙසෙන පුද්ගලයන් ඒකීය සමාජයක් හා ඒකීය කෘත්‍යයක් සදහා යොමු කරවන ක්‍රියාවලියක් ය යන්නයි. 
මානව සමාජ පරිණාමයේ නව අවධියක් පෙන්නුම් කරන මෙකී ගෝලීයකරණයට හසුවන සෑම මානව සමාජයක්ම දැනුමෙන් සන්නද්ධ වේ යැයි මත පළ වී ඇත. ඒ අනූව පෙනී යන්නේ ගෝලීයකරණය යන්නට නිශ්චිත අර්ථ ගෙනදීම අපහසු කාර්යයක් බවයි. එනම් ඇතමෙකුට එය මතවාදයකි. තවත් අයෙකුට අනූව එය සිදුවෙමින් පවතින ක්‍රියාවලියක් හෝ මිථ්‍යාවේදයකි. එසේම මානව සබදතා දියුණු වීමේ ප්‍රථිපලයක් ලෙසට ද මෙය පෙන්වාදිය හැකිය. 
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව සන්නිවේදනය පිළිබද විවිධ සොයා බැලීම් ඇතිවිය. එනම් සන්නිවේදනය හා තාක්ෂණය විප්ලවීය වෙනසකට පරිවර්තනය වීමයි. ඇතැම් විදුවතුන්ට අනූව ගෝලීයකරණයේ ආරම්භය 16 වන සියවස දක්වා අතීතයට ගමන් කරයි. බොහෝ විවේචකයන්ට අනූව ගෝලීයකරණය නිර්මාණය කර ඇත්තේ බටහිර ලෝකය මගිනි. වෙළදපළ බලවේග මගින් ආර්ථිකය සකස් කරයි. ඊට අවශ්‍ය ගෝලීය විඥානය සකස් කරන්නේ මාධ්‍ය මගිනි. 
ජ්‍යාත්‍යන්තරකරණය, ලිබරල්කරණය, බටහිරකරණය, විශ්වීයකරණය ආදී සංකල්පමය ක්ෂේත්‍ර සමග ද ගෝලීයකරණය සබදතා පවත්වයි. මාර්ටින් බෝර් පවසන ආකාරයට ගෝලීයකරණය යනු, තුන්වන ලෝකයේ ජනතාව සියවස් ගණනක සිට අත්දකින යටත්විජිතවාදය යි. ගෝලීයකරණය පිළිබදව ඉදිරිපත්ව ඇති නිර්වචන ගණනාවකි. එහෙත් මේවා පිළිබද නිශ්චිත එකගතාවක් නැත. මෙයට හේතුව වන්නේ විවිධ ආයතන මෙන්ම විවිධ පුද්ගයන් විවිධ දෘෂ්ඨිකෝණයන් ඔස්සේ ගෝලීයකරණය අර්ථගන්වා තිබීමයි. 
යුරෝපා කොමිසමට අනූව ගෝලීයකරණය යනු, භාණ්ඩ හා සේවා වෙළදාමේ ජවසම්පන්න භාවයත්, ප්‍රාග්ධනය හා තාක්ෂණයට අදාළ වර්ධනයත් කරණ කොටගෙන විවිධ වූ රටවල් ඉතා සීඝ්‍ර ලෙස එකිනෙකා මත යැපීමේ ක්‍රියාවලියක් ය යන්නයි. ජේම්ස් මිට්ල්මන්ට අනූව ගෝලීයකරණය යනු විවිධ ප්‍රපංච සමූහයක් සදහා වන ප්‍රකාශණයකි. එය ආර්ථිකය දේශපාලනය, සංස්කෘතිය හා දෘෂ්ඨිවාදය ආදිය පිළිබද විශ්ලේෂණයෙහි බහුවිධ ස්ථර එකිනෙක හා සම්බන්ධ කරයි.
සන්නිවේදන තාක්ෂණය දියුණු වීමත්, ඊට නව ක්ෂේත්‍ර එක් වීමත් සමග ගෝලීයකරණයේ නව ප්‍රවණතා රුසක් නිර්මාණය විය. ඒ අනූව ගෝලීයකරණය ක්‍රියාවලිය නිසා උත්පාදනය වූ නව ප්‍රවණතාවන් පහත පරිදි පෙළගැස්විය හැකිය.
  • ද්‍රව්‍යමය ආර්ථිකය අභිබවා මූල්‍ය ආර්ථිකය ශක්තිමත් වීම
  • විද්‍යාව හා තාක්ෂණය ආර්ථිකයේ තීරණාත්මක බලවේග වීම
  • ජනසන්නිවේදන මාධ්‍යයේ ප්‍රමාණාත්මක වර්ධනය
  • ගෝලීය තොරතුරු අවකාශයක් නිර්මාණය වීම
  • නව සංස්කෘතික ස්වරූප ඇති වීම
  • විවිධ ජනමාධ්‍ය ඒකීය පද්ධති බවට පත්වීම
  • ගෝලීයකරණය සමග කලාපීයකරණය සිදුවීම

තාක්ෂණය හා බැදි සමාජය

සන්නිවේදනයේ වන පිබිදීම හා ව්‍යාප්තිය අද වනවිට ප්‍රතික්ෂේප කළ නොහැකි දෙයක් බවට පත්ව තිබේ. එහි ස්වභාවය අනූව එය සුළුකොට තැකිය නොහැකි අතර එහි ප්‍රථිපල ගැඹුරුය. ලෝකයේ පවතින තත්වය සාමාන්‍ය තත්වයට වඩා වෙනස් වීමට ලක්වීම ‍මේ තත්වයට මූලාරම්භය ලෙස දැක්විය හැකිය. 
පසුගිය දශ වර්ෂ දෙකක කාලය තුළ සන්නිවේදන තාක්ෂණය දියුණුවට පත්විය. නිදර්ෂණයන් ලෙස පරිගණකය, වීඩියෝ, චන්ද්‍රිකා, රූපවාහිනිය පෙන්වාදිය හැකිය. නූතන සන්නිවේදන ක්‍රමවල ඇති හැකියාවන් නිසා ඒවා ප්‍රජාවට  පහසුවෙන් ලගාවන ආකාරය ද හදුනාගත හැකිය. එනම් සන්නිවේදන මාධ්‍යයේ එන සම්භාව්‍යය සංකල්පයන්ගෙන් වෙනස් මගකට යොමුවී වර්තමානයේ නියෝජනය වන නවතම තාක්ෂණික උපකරණ භාවිතය සිදු වී ඇත. උදාහරණ ලෙස ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව යන අංශ දැක්විය හැකිය.
කෙසේ නමුදු 1960 - 70 දශකයන් තුළ සිදුවූ ප්‍රධාන මාධ්‍යවල බිද වැටීම හේතුවෙන් නව මාධ්‍යයන් ගොඩනැගීම ද මෙසේ ජන්මය ලැබූ නව මාධ්‍ය හරහා තොරතුරු බෙදා හැරීමේ නව ප්‍රවණතාවයන් නිර්මාණය වීම ද සුවිශේෂී වේ.
ඒ අනූව අධ්‍යතන මාධ්‍ය භාවිතය තුළ වන නවතම ප්‍රවණතාව වන්නේ ඉහත කී නව මාධ්‍ය වේ.මෙකී නව මාධ්‍ය භාවිතය තුළ වන වැදගත්කම වනුයේ, පූර්ව සන්නිවේදන ක්‍රමවලට වඩා ඉදුරාම වෙනස් අයුරින් යුක්තව ඉතා පුළුල් සමාජ සංස්කෘතිමය වෙනසක් නිර්මාණය කිරීමට නව මාධ්‍යයට පවතින හැකියාවයි. ඒ අනූව සමස්ථ ලෝකයම මෙම නව මාධ්‍ය සිය සංවර්ධනය සදහා උරගා බලමින් සිටී. ඒ අනූව නව මාධ්‍ය යනු අද වන විට මානව සමාජ අන්තර් ක්‍රියාවලිය තුළ විශාල කාර්යභාර්යක් ඉටුකරන ප්‍රධාන කාරකයා වේ. එනම් නව මාධ්‍ය බිහි වීම තුළ මෙතෙක් කල් පොතපතින් හුවමාරු වූ දැනුම මේ හරහා ප්‍රසාරණය වී නව සංස්කෘතික ප්‍රවේශයන්ට ළගා වීම නිසා, ඒ තුළ ඕනෑම දෙයකට අවැසි දැනුමක් ක්ෂණිකව ලබා ගැනීමේ ශක්‍යතාව පුද්ගලයා කෙරෙහි ළගා වී තිබීම විශේෂ කොට සැළකිය යුතු වේ.
මෙවැනි ස්වරූපයක් තුළ ගොඩනැගෙන්නේ සාමූහික විඥානයක් හා සාමූහික බුද්ධියකි. මෙසේ සිදුවීමට ප්‍රධාන හේතුව වන්නේ නව මාධ්‍ය හරහා තොරතුරු විමධ්‍යගතකරණයයි. මෙම පරිසරය තුළ විශාල වශයෙන් තොරතුරට ඇති හදුනාගැනීම්, අර්ථකථනයන් වෙනස් වේ. විශේෂයෙන්ම සංස්කෘතියේ ප්‍රධාන ගුණාංග පිළිබද ජී. ජී. මර්ඩොග් විසින් The Cross Cultural Survey කෘතියේ දක්වන "සමාජ හැසිරීම් රටා ඉගැන්වීමේ ගුණය" (Learned Quality) හා "සමාජ ගති ලක්ෂණ පතුරුවා හැරීමේ ගුණය" (Transmissive Quality) අද්‍යතන සමාජයට ගෙන යන්නේ/හුරු කරවන්නේ මෙම නව මාධ්‍ය හරහාය.
නව මාධ්‍ය තුළ කිසිදු ආකාරයකින් සීමා මායිම් නැත. මේ නිසා එක් රටක සමාජ තත්වය තවත් රටක සාමාජීය තත්වය හා සම්මිශ්‍රනය වීමේ ඉඩකඩ බොහෝ සෙයින් පවතී. ඒ අනූව පැහැදිලි වන්නේ, නව මාධ්‍ය හරහා මෙලෙස වෙනස් වන සංස්කෘතිය පිළිබද මනා දැනුවත් බවින් යුතුව පරිහරණය කිරීම මෙවැනි ගෝලීය වටපිටාවක් තුළ වෙසෙසින්ම වැදගත් වන බවයි.

මානව අපට සන්නිවේදනයේ වන අවශ්‍යතාවය

ජීවයේ උපත දක්වාම සන්නිවේදනයේ ආරම්භය ගමන් කරයි. එනම්, ඉන් අදහස් වන්නේ සන්නිවේදනයෙන් තොරව මෙලොව ජීවයක් නොමැතිය යන්නයි.
ඉංග්‍රීසි භාෂාවේ communication යන පදයෙන් "සන්නිවේදනය" යන පදය සිංහලයට එක් වී තිබේ."පොළොව මත ගෙවුණු දිගු ඉතිහාසය දිනක් ලෙස කල්පනා කළහොත් සන්නිවේදනය ඇති වූයේ ඊයේ මැදියම් රැයට නිමේෂයකට පෙරදීය" යනුවෙන් විල්බර් ශ්‍රාම් ප්‍රකාශ කරයි. ඒ අනූව සන්නිවේදනය යනු ක්‍රමානුකූලව වර්ධනය වූවක් බවට පෙන්වාදිය හැකිය.
සන්නිවේදනය යනු මානව සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. සමාජයක් යනු අන්තර් ක්‍රියාකාරකම්වලින් සමන්විත පුද්ගල කණ්ඩායමක එකතුවක් වන බැවින් එම ක්‍රියාකාරකම් යථාර්තයක් බවට පත් වීමට නම් සන්නිවේදනය අත්‍යාවශ්‍ය සාධකයකි. "ලෝකයේ ඉදිරි ගමන පවතින්නේ සන්නිවේදනය මතය" යනුවෙන් හැරල්ඩ් ඩි. ලැස්වෙල් විසින් කළ ප්‍රකාශය තුළින් ද එය මනාව පැහැදිලි වේ. 
සන්නිවේදනයේ නිරත වන්නේ මානවයා පමණක් නොවේ. සත්ව සන්නිවේදනයක් ද පවතී. වෙනස වන්නේ අවශ්‍යතා සහ සංකීර්ණත්වයයි. එනම්, මානව සන්නිවේදනය යනු සංකීර්ණ ක්‍රියාදාමයකි. එහෙත් සත්ත්ව සන්නිවේදනය තුළ එවැනි සංකීර්ණත්වයක් දැකිය නොහැක. මිනිසාගේ ප්‍රධානතම සන්නිවෙදන මෙවලම වන භාෂාව සත්ත්ව භාෂාවට වඩා සංකීර්ණ වීම මීට ප්‍රධාන හේතුව වේ. 
මේ අනූව පැහැදිලි වන්නේ සන්නිවේදනය යනු මූලික මිනිස් අවශ්‍යතාවයක්ය යන්නයි. ප්‍රාග් ‍‍ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වාම මිනිසා විසින් ප්‍රධාන අවශ්‍යතා කොට ඇති මූලික මානව අවශ්‍යතා හා බැදි යෙදුම්කාරකයක් ලෙස සන්නිවේදනය හැදින්විය හැකිය. ඒ අනූව පැහැදිලි වන්නේ, මානසික සහ කායික අවශ්‍යතා පූර්ණ කරගැනීම සදහා මිනිසා විසින් උපයුක්ත සන්නිවේදනය ඔහු ජීවත්වන පරිසරයට අදාළව, සමස්ථ ලෝක පද්ධතියට අදාළව වෙනස් වන්නා වූ අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවයි.

සන්නිවේදනයේ ගෝලීයකරණය

නවීන ලෝකයේ සන්නිවේදනය පිළිබද කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එය අතිශය සීඝ්‍රයෙන් වර්ධනය වන ගෝලීය පරිමාණයක සිදුවීමයි. කාලය හා අවකාශය අතර පූර්වයෙහි ව...